Sunday, August 20, 2017

බන්දා දුන්දා.....

නින්දා
හින්දා
උන්දා
කැන්දා
බන්දා
දුන්දා
නන්දා
වැන්දා...



.

Friday, August 18, 2017

Friday, August 11, 2017

Tuesday, August 8, 2017

Monday, July 31, 2017

සෙනෙහෙ විඳින්නෙමි, එහෙත්....


ඒ දෙනෙත් මගේ හිතට ගෙනාවේ සැනසිලිදායක හැඟීමකි. බලාපොරොත්තුවක් පෙනෙන මායිමකවත් නොවූ ජීවිතයකට, මොහොතකින් බලාපොරොත්තුවක් ඇතිකරවූයේ ඒ දෙනෙත්ය. එවන් මොහොතක දැනෙන්නේ වචනයෙන් කිව නොහැකි තරමේ සතුටකි, සැනසිමකි. නෙතකින් දකින්නට හැඟෙන්නට නොහැකි තරමේ සෙනෙහසක්, හැඟීමක් පළමුවරට ඊයේ දිනයේදී ඇගේ දෙනෙතින් මම දුටුවෙමි.
ඒ දෙනෙත් රෝහලේ වාට්ටුව කෙළවරේ දොර අසළින් දුටුවිටදී සතුටක් දැණුනා සේම වරින්වර එහා මෙහා යන රොහල් කර්යමණ්ඩලය සහ රෝගීන් බැලීමට පැමිණි ජනතාව නිසාම ඒ දෙනෙත් මගේ දර්ශණ තලයෙන් ගිලිහී ගියවිට දුකක්ද දැණුනි. එහෙත් ඒ ඇයිද යන්න මට නොවැටහේ. ඒ දෙනෙත් සොයා මම වටපිට බැළුවෙමි. පුදුමයකි. ඒ දෙනෙත් මගේ ඇඳ අසළය. යළිත් වතාවක් මගේ හිතට දැණුනේ සැනසීමකි. මම ඇඳෙන් නැගී සිටීමට උත්සාහ දැරුවෙමි.

'නැගිටින්න එපා. ඔහොම ඉන්න' ඒ දෙනෙත් හිමි ඇගේ හඬයි.

මම ඇඳ මත වාඩි වුණෙමි. හිතේ වූ පුදුමාකාර සතුට පිළිබඳව හිතනවා හැරෙන්නට ඇය සමග කතා කිරීමටවත් මට මතක්වූයේ නැත. ඇයටද එසේම වන්නට ඇතැයි මා සිතුවේ ඈ නිහඬවම හිනා මුසු මුහුණින් යුතුව මා දෙස බලා සිටිනා බැවිනි. අප අතරේ නිහැඬියාව බිඳුණේ මට ඇතිවූ කැස්ස නිසාය.

'රිදෙනවද ?'  පපුව අල්ලාගෙන මම කහින අයුරු දුටු ඈ මගේ උරහිසින් අල්ලා පැවසුවාය. 
'ටිකක් විතර '
මතක සිදුවීම එතැනින් අවසන් වූයේ කවුරුන් හෝ මගේ උරහිස සොලවා මට කතා කිරීම හේතුවෙනි. මම දෙනෙත් විවර කෙරුවෙමි.

'නින්ද ගියාද ?' ඒ රෝහල් සාත්තු සේවකයෙකි.
'නින්ද ගියේ නෑ. ඇස් දෙක වහගෙන කල්පනා කර කර හිටියේ'
'මහත්තයා ඇඳ අයිනේ හිටියේ... වැටෙයි කියළයි මම ඇඳ මැද්දට තල්ලු කෙරුවේ'
'ස්තූතියි, ස්තූතියි'

අනතුරුව ඔහු මා අසළින් නික්ම ගියේය. තවත් මොහොතකින් උදෑසන රෝගීන් බැලීමට නියමිත කාලය උදාවෙනු ඇත. එහෙත් අම්මාටද අසනීප බැවින් උදෑසන මාව බැලීමට රෝහලට නො එන ලෙස අප්පච්චීට ඊයේ පැවසූ නිසාම ඔහු දැන් නො එනු ඇත. දහවල් වනතුරු කිරීමට දෙයක් නැත. කෙටි කථා පොතක් තිබුණත් එය කියවීමට තරම් රුචියක් මේ මොහොතේ නැත. මම පොත මේසය මත තබා නෙත් පියා ගන්න සැරසෙත්ම අසළට පැමිණියේ ඒ දෙනෙත්ය.
ඇගේ සුපුරුදු ලෙංගතු හිනාව මගේ හිතට සැනසුමක් ගෙනාවාය.

'මගේ යාලුවෙක් ඉන්නවා අනික් වාට්ටුවේ. එයාටත්....' ඇය ඉතිරි වචන ගිල ගත්තාය.
'එයාටත් මට වගේම පිළිකාවක් නේද?'

මම ඇසුවෙමි. ඇය නිහඬවම බිම බලා ගත්තා මිස කිසිවක් පැවසුවේ නැත. මම ඇඳේ හිඳගැනීමට සැරසෙත්ම ඈ මගේ වමත අල්ලා මට සහය දුන්නාය.

'ස්තූතියි, ඊයේ ඇවිත් ගියාට මම හිතුවේ නෑ...'
'අදත් බලන්න එයි කියළා, නේද?'
'හ්ම්....'
'ඇත්තටම මාත් එන්න නෙමෙයි හිටියේ. ඒත්.... අනේ මන්දා...'

ඇය හිනාවීමට උත්සාහ කෙරුවද ඒ දෙනෙත්වල කඳුළු පිරෙන අයුරු මම දුටුවෙමි. ඈ කඳුළු දුකකටද? නැත්නම් සතුටකටද? ඇගේ දෙනෙත කඳුලින් පිරෙන්න තරම් මා ඈට විශේෂිත කෙනෙක් වූවාද? ඇගේ හිතේ මා පිළිබඳව සෙනෙහසක් ඇති වූවාවත්ද? එසේ විය නොහැකිය. ඉදිරි ජීවිතය පිළිබඳව ස්ථිරතාවයක් නොමැති මා වැනි රෝගියෙක්ට ඇගෙන් ආදරයක් නොලැබෙන බව මම දන්නෙමි. සමහරවිට ඇය මට අනුකම්පාවක් දක්වනවා විය හැකියි. ඔව්. එය එසේම විය හැකියි.
එහෙත් ඇය දුටුවිටදි මට දැණෙන හැඟීම ආදරයක් නොවන්නේමද? ඒ ආදරය ඇයට ප්‍රකාශ කිරීමට කැමැත්තක් තිබුණද එය කළ නොහැකිය. රෝගියෙක්ට ආදරයක් දක්වන මෙන් මා කෙසේනම් ඇයට පවසන්නද?
යළිත් ඇතිවූ කැස්ස නිසාම මම ඇඳේ හාන්සි වුණෙමි.

'ඔයා දැන් යන්න'  අකමැත්තෙන් වුවද මම එසේ පැවසුවේ සුළු ප්‍රමාණයකින් හෝ මා පිළිබඳව අදහසක් ඇත්නම් එය ඇගේ හිතින් ඉවත් කිරීමේ අර්මුණෙනි.

'එහෙම කියන්න එපා'  ඈ මිමිණුවාය.
'ඇයි ?'
'දුකයි'
'දුකයි?'
'හ්ම්.. එහෙම යන්න ඕනකමක් තිබ්බානම් මම මෙතන්ට එන්නේ නැහැනේ'
'ඒත්.... ම... ම...'

මට තවත් ඒ මුහුණ බලාගෙන කතා කිරීමට නොහැකිය. ඒ දෙනෙත් තවමත් කඳුළින් පිරී ඇත. එය දුටුවිට ඇයට තවත් දුකක් දීමට මට සිත් නොදෙයි. ඇයගෙන් මොහොතකටවත් ඈත්වීමට දැන් මටද හිතක් නැත. ඒත්... ඒත් මේ හැඟීම දෙදෙනාටම දුකක් පමණක්ම බව මම දන්නෙමි. නමුත් ඇයට එය කීයාදීමටද නොහැකිය.
ඒ හිනාවට මෙන්ම ඒ උණුහුමටද මම ප්‍රිය කරමි. ඈ තවමත් මගේ වමත අල්ලාගෙනය. මගේ සුරත ඇගේ අත මත තැබීමට ගියත් පසුව මම අත ඉවතට ගත්තෙමි. මෙතෙක් වෙලාවක් හිතේ සඟවාගෙන සිටි ඒ වේදනාව ඈ කඳුළුවලින් පිටකෙරුවාය.

'අඬන්නෙපා'
'ඇයි?'
'ඔයා අඬනවා බලන් ඉන්න බෑ මට'
'ඒ ඇයි?'
'දුකයි'
'ඇත්තටම?'
'හ්ම්....'
'හරි. මං අඬන්නෑ...'
'හොඳයි. එතකොට ලස්සනයි'
'හරි. ආයිත් අඬන්නෑ. ඔයා සතුටින් ඉන්න. ඒ වගේම සනීපෙන්. මම යන්නම්'

ඇය දිගු සුසුමක් පිට කරමින් යන්න සූදානම් වූවාය. එහෙත් ඇගේ දෑතට හිරවූ මගේ වමත මට ඉන් මුදාගැනීමට උවමනාවක් නැත. ඒ උණුහුම නැතිකර ගැනීමට මට අවශ්‍ය නැත. මොහොතින් මොහොත ඒ අතැඟිළි මගේ අතැඟිළිවලින් ඈත් වෙද්දී මට ඇතිවූයේ දරාගත නොහැකි කම්පාවකි. ඈ, අසළ සිටි මිනිසුන් අතරින් ගොස් වාට්ටු දොරෙන් නොපෙනී යනතුරු මම බලා සිටියෙමි. ඇයට නොකීවද ඇගේ ලෙංගතුකම, සෙනෙහස මම බලාපොරොත්තු වෙනවාවත්ද?

එහෙත් මම වැනි ආත්මාර්ථකාමියෙක්. මම ඇගේ හිත පෑරුවාවත්ද? ඒ හිතට කොතරම් දුකක් දැනෙන්න ඇද්ද? එකම වරක් හෝ ඇගේ සෙනෙහස විඳීමට කැමති බව මම නොකිව්වේ මන්ද? එසේ පැවසුවේනම් ඇය මෙන්ම මමත් මේ මොහොතේ සතුටින් සිටිනු ඇත. ඒ කෙසේ වුවද දැන් ඈ මෙතන නැත. හිත සැනසෙන ඒ වචන යළි ඇසීමටත් ඒ ප්‍රියකරු බව යළි දැකීමටත් මට නොලැබෙණු ඇත. ඇයත් සමග තව දුරටත් කතා කිරීමට නොලැබීම මට දුකකි. මේ නිසාම මගේ හිත දැන් නොසන්සුන්ය. මොහොතින් මොහොත ඒ මතකය මගේ හිතට වද දෙන්නට විය. දැන් දැන් ශවසන අපහසුතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි විය. ඒ නිසාම දහවල් වනවිට මම හුස්ම ගත්තේ කෘතිම ඔක්සිජන්වලට පිං දෙමින්ය. එම අපහසුතාව දැණුනත් තව එක් වතාවක් හෝ ඇයව දැකගන්නා තුරු  මට මේ ලොව දමා යන්නට බැරිය. කෙමෙන් කෙමෙන් දහවල උදා වුවත් ඇගේ මතකය මගේ හිතෙන් පහව නොගියේය.

දහවලේදී අප්පච්චි මාව බැලීමට ඇවිත් අසළ පුටුවේ වාඩි වූවේ මහා දුකක් හිතේ හිරකරගෙන බව මම දන්නෙමි. ජීවිතයත් මරණයත් අතර තම පුතා විඳවන අයුරු දැකීම පියෙක්ට ඉවසාගත නොහැකි දෙයකි. ඒ වේදනාව ඔහු නිහඬවම හිතේ හිර කරගෙන මගේ හිස පිරිමදිමින් සිටියේය. තවත් පැයකින්, දෙකකින් හෝ වරුවකින් හෝ ඔවුන්ව හැර දමා යන්නට සිදුවනු ඇත. ඔහු එය කෙසේ දරාගනු ඇද්ද?  අනේ....ඒ හිත අස්වැසීමට දැන් මට කිසිවක් පැවසීමටද නොහැකිය.

'මට සමාවෙන්න අප්පච්චී, මට සමාවෙන්න....' මම සිතුවෙමි. මගේ අසාධ්‍යබව දුටු අප්පච්චී 'දොස්තර මහත්තයෝ.....'කියමින් දිවගියේය.

මේ මගේ ජීවිතයේ අවසාන මොහොත බව මම හොදාකාරවම දන්නෙමි. යළිත් වරක් ඒ දෙනෙත් දැකගැනීමට නොහැකිවීම පිළිබඳව මට ඇත්තේ කළකිරීමකි. හරියාකාරව නමක්වත් නොදන්නා ඇයගේ මතකයන් ඇත්තේ සුළු ප්‍රමාණයකි. ඒවා ගැන සිතමින් මම දෙනෙත් වසා ගත්තෙමි. දැන් හිතට ඇත්තේ සැහැල්ලුවකි. එහෙත් හුරු පුරුදු ස්පර්ශයක් වමතට දැනීම නිසා මම යළිත් දෙනෙත් විවර කෙරුවෙමි.

මා ඉදිරියේ සිටියේ ඒ දෙනෙත්ය. ඔව්. ඒ දෙනෙත් මා දෙස බලා සිටියේ කඳුළු පුරෝගෙනය. දෝතින්ම මගේ වමත පිරිමදිමින් සිටි ඈ මා වෙතට සමීප වූවාය. පව්. මම ඇයට දුකක් දුන්නේද? ඇයට මගේ හිතේ වූ හැඟීම නොපැවසීම පිළිබඳව දැන් මට ඇත්තේ සතුටකි.

'මට සමාවෙන්න' මම සිතුවෙමි. තවත් මට සමීප වූ ඈ මගේ නළල සිඹ ඈත් වනවිට ඒ දෙනෙතින් වැටුණු කදුළුවලින් මගේ කොපුල උණුහුම්විය.  අනතුරුව ඈ අසළ පුටුවේ වාඩිවූවේ හඬමින්ය. මම අසීරුවෙන් හිස සැලුවේ ඈට හඬන්න එපා යයි පැවසීමටයි. එහෙත් ඇගේ මුහුණේ හිනාවක් නැත. මගේ සුරත ඇය දෙසට දිගු කිරීමට උත්සාහ දැරුවද එය අසාර්ථකවූයේ එතරම්ම මා දුර්වල තත්වයකින් සිටින නිසාවෙනි.

'නෑ....'

ඇගේ විලාපයත් සමගම අවට නිහඬ විය. බොඳ වී පෙණුනු ඒ රුව ක්‍රමක්‍රමයෙන් නොපෙනී ගොස් අසානයේදී මුලුමනින්ම නොපෙනී ගියේ අඳුරු වටපිටාවක මාව තනිකරමිණි.  



-------නිමි---------
             





මෙය අරුණ පෙරේරා සහෝදරයා කාලයකට ඉහතදී රවී සහෝදරයාගේ 'නිදහස් සිතුවිලි' බ්ලොග් එකේ කමෙන්ට් එකක සඳහන් කෙරූ යම් සත්‍ය සිදුවීමක්, මට දැණුනු අයුරින් ගළපා නිර්මාණය කෙරූවකි.

Sunday, July 23, 2017

Sunday, July 9, 2017

සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා.........

ඉහළ අහසේ සිහින මාළිග දිනෙන් දින නිති හැඩවෙලා
මහළ හත අට සතුට සැනහී හිත පුරා ඳඟකම් කළා
ඇහැළ මාසෙක දිනෙක තිබු ඒ මතක නිතරම සිහිවෙලා
අහල පහලකවත් නොවී නුඹ කොහි ගියේදෝ සැඟවිලා

පිල්ලමක් යට දෙනෙත වෙහෙසී උණුහුමෙන් රත් පැහැවෙලා
මල්දමක් වූ මතක කඳුලින් දවයි හදවත රිදවලා
සෙල්ලමක් සේ නොසිතු සෙනෙහස පපු තුරුල්ලෙම හිරවෙලා
පැල්ලමක් වත් නැතිද හිත තුළ ප්‍රේම පැහැයම බොඳවෙලා

සෙනෙහසත් තුරුළට අරන් ආ හදම හදවත රිදවලා
ගිරිකුලත් සිඳ බිඳ වැටුණු පසු හිඳිනු බැහැ සිත තුටුවෙලා
සැනසුමත් හද කොනින් නික්මී තටුසලා යයි ඉගිලිලා
සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා.........

Tuesday, June 27, 2017

ජීවිතයද මේ.....



'සලිතා'ගේ හිත කලබලය. චංචලය. කළයුත්තේ කුමක්දැයි හරියාකාරව නිගමනයකට ඒමට නොහැකිව ඒ හිත පාර පුරා දුවන්නීය. මාවත පුරා වූ කලබලකාරී බව ඇගේ මනස තවත් අවුල් කරවීය. ඈ යළිත් ජංගම දුරකථනයෙන් ඇමතීමට උත්සාහ දැරුවද මෙවරද ඇගේ උත්සාහය නිශ්ඵලවිය.

' ඕ.... කල්ප. කතා කරන්නකෝ.....' ඈ තමාටම මුමුණාගත්තේ යළිත් වරක් ඇමතුම ගැනීමට උත්සාහ දරමින්ය. එවර දුරකථනය වැඩකළේය.

'කල්ප. ෆෝන් එක ඕෆ් කරන් මො.....  හරි හරි.මම කීයේ ඉදන්ද කෝල් කරන්න හදන්නේ. ඔයාට වැඩ වුණාට මට ඒකෙන් වැඩක් නෑ. මට අදම, මේ දැන්ම ඔයත් එක්ක කතා කරන්න ඕනෙ. ඔව්. ඔව්. කොහාටද? විවේකා එකට. හා'

ඈ එක දිගට කියාගෙන යන්නීය. හිතේ වූ ආවේගය නිසාම තමන් දැන් ඉන්නේ කොහේද යන්න පිළිබඳවවත් ඈ නොසිතුවාය.

'ඉක්මනට එන්න. මම දැන් පුවක්ගස් හන්දියේ පෝස්ට් ඔෆිස් එක ලඟ ඉන්නේ. ඔව්. ඔව්. විවේකා එකටද එන්න කියන්නේ. දැන්. හා. හා....'

අවසානයේ ඈ දුරකථනය විසන්ධිකර මාර්ගය දෙසට හැරෙනවාත් සමගම තැපැල් කාර්යාලයේ සිට පැමිණෙන මැදිවියේ පසුවූ සාගරපද්මගේ  සිරුරේ ඈ හැපුණාය.

'සොරි අන්කල්'

සාගරපද්මගේ අතින් වැටුණු මුදල් පසුම්බිය ඇහිඳ ඔහුට දෙන අතරේ සලිතා පැවසුවාය.

'සොරි අන්කල්'

ඈ යළිත් පැවසූවේ බස් නැවතුම්පලට පැමිණි මල්කඩුවාව බස් රථය දෙසට දුවන අතරේය. ඈ යන දෙස බලා සිටි සාගරපද්ම හෙමින් හෙමින් තමා පැමිණි තුන් රෝද රථයට ගොඩවුණේය.

'අපි යමු දරුවෝ'

ඔහු රියදුරාට පවසමින් හිඳගත්තේය. තුන් රෝද රථය මීගමු පාර ඔස්සේ මල්කඩුවාව බලා පිටත්වූයේ තරමක වේගයෙනි. 

'තව ටිකක් එහෙ මෙහෙ වුණානම් මහත්තයා වැටෙනවා. ෆෝන් එකත් කනේ ගහන් පාරේ යන හැටි.'

'වයසෙ වැරැද්දනේ දරුවෝ.මේ නහින දෙහින කාලේ අපි පරිස්සම් වුණාම හරිනේ., ඒත් ෆෝන් එක කනේ ගහගෙන පාරේ ඇවිදින එකනම් මමත් අනුමත කරන්නෙ නෑ'

සාගරපද්ම මහතා උපැස් යුවළ ගලවා කමිස සාක්කුවේ දමාගන්නා අතරේ පැවසුවේ සුසුමක්ද පිට කරමින්. තමාගේ සිරුරේ හැපුණු ඒ තරුණිය දුටු සැණින් ඔහුට සිහිවූයේ ඔහුගේ දුව සහ පුතාය. තම දරුවන් සිහිවෙද්දී ඔහු නොදැණුවත්වම නෙතඟට කඳුලක් ඉනුවේය.  සාගරපද්ම දෙනෙත් තදින් වසා ඒ කඳුලු නිදහසේ කොපුල් හරහා වැටීමට සැලැස්සුවේය.

'මහත්තයා ?' ඒ රියදුරුය.

'ඇයි දරුවෝ'

සාගරපද්ම කඳුල පිසදාගත්තේය.

'අදත් එලවළු ගන්නවා නේද ?'

'ඔව් දරුවෝ. අද පලා මිටියක් ගන්න ඕනෙ'

තුන් රෝද රථය එළවළු වෙළඳසැල අසළ නතර කෙරූ පසු සාගරපද්ම එයින් බැසගත්තේය.

'එන්න මහත්තයා.'

'මට ගොටුකොළ එකයි අඟුණ එකයි දෙන්න'

වෙළඳසැල් හිමිකරු ගොටුකොළ ගැනීමට සූදානම්වන විට ඒ අසළ සිටි කුඩා දරුවෙක් ගිරාපලා මිටි දෙසට අත දිගුකරමින් ඒවා පෙන්නුවේය. වෙළඳසැල් හිමිකරු දරුවාට එසේ නොකරනමෙන් මූනෙන් ඉඟියක් පෑවේය. එනිසාම දරුවා එතනින් පසෙකට වුණේය.

'ඇයි, මේ පුතා මොනාද කියන්නේ. කවුද මේ ?'

සාගරපද්ම ඔහුගෙන් විමසුවේ දරුවාට හිනාවකින් සංග්‍රහ කරමින්.

'මහත්තයාට ගිරාපලා පෙන්නන්නලු. දැනුයි ගෙනාවේ'

'ම්ම්.. එහෙනම් ගිරාපලා මිටියකුත් දෙන්න. අඟුණ එපා'

'මේ දරුවගේ ගෙදරින් තමයි මගේ කඩේට පලා ජාති දාන්නේ. මහත්තයා කිසිම බයක් නැතුව ගන්න. වස විස දාන්නෙම නැ'

වෙළඳසැල් හිමිකරු පැවසුවේ පලා සහිත බෑගය සාගරපද්ම වෙත දිගු කරමින්.

'මේ දරුවගෙ නම '

'නිර්නාමික'

මුදල් ගණු දෙණු කිරීමෙන් පසු සාගරපද්ම ගියේ නිර්නාමිකගේ හිස අතගාමිනි. තුන් රෝද රථය ගිය පසු දරුවා තම හඬ අවදිකෙරුවේය.

'මාමේ. අම්මා කිව්වා ඊයේ පලාවල සල්ලි ඉල්ලන් එන්න කියලා.'

'සල්ලි දෙන්නම්. උඹ සල්ලි ටික වට්ට ගන්නෙ නැතුව අම්මගේ අතටම දෙන්න ඕනේ. තේරුනානේ'

නිර්නාමික හිස සැලුවේය.

'මම අම්මටම තමයි සල්ලි දෙන්නේ. වියදම් කරන්නෙ නෑ. මාමේ අද ශිෂ්‍යත්වෙ ළකුණු එනවා. අම්මයි මායි ඉස්කෝලෙට යන්න ඉන්නෙ'

'උඹ දිනලා ඇති පුතේ. උඹලට වරදින්නේ නෑ. ඉස්කෝලෙ ගිහින් ඇවිත් මටත් කියලා පලයන් විස්තරේ'

නිර්නාමික මුදල් රැගෙන නිවස බලා දිව්වේය. තාර පාරෙන් හැරී ගුරු පාර දිගේ ආ ඔහු අනතුරුව ඇළට සමාන්තරව විහිදී ඇති ගුරු පාර දිගේ ඇවිද ගියේ ගල් කැබලි කිහිපයක් වරින් වර ඇළ දෙසට විසි කරමිනි.

'අම්මේ....'

ඇල සමග දෙවැට නිමවෙනවාත් සමගම ඇත්තේ නිර්නාමික සහ ඇගේ මව ජීවත්වන් ගෙවත්තයි. අක්කර භාගයක විශාලත්වයෙන් යුතු වූ මෙම ගොඩ මඩ ඉඩමත් සමග නිර්නාමිකගේ මව තමන්ගේ ජීවිකාව ගෙනයාමට නොකරන යුද්ධයක් නැත.  ඒ අතරින් ප්‍රධානම ක්‍රියාව වණුයේ පලා සහ එළවලු වගාවයි.

'සල්ලි හම්බුණාද පුතේ'

'ඔව්. ආ. අම්මේ.. කීයටද ඉස්කෝලේ යන්නේ'

' 10ට විතර යමු. ඔන්න ඒ ගමන වැහිපොදක් වැටෙනවා. යමු ගෙදරට'

මේ මොහොතේ අහස තරමක් අඳුරු වූයේ වැහි පොද එකින් එක බිම වැටීමත් සමගමය. හමා එන සීත සුළඟ, ඉදිරියේදී ඇතිවෙන මහ වැස්සක පෙරනිමිත්තකි. වැහිපොද නිසාම දූවිලි සේදී ගොස්  කුරුණෑගල නගරයම අලුත්වූ පෙණුමක් ලැබුවා වැනිය.
 රන්තලිය වැවට හොඳින් දර්ශණය වෙමින් තිබූ ඇතුගල දැන් අපැහැදිලි වූවත් විවේකා හෝටලයේ උඩු මහළේ පිහිටි කාමරවලට පෙනෙන්නේ සුනදර දසුනක් ලෙසටය. ඈතින් පෙනෙන ඇතුගල, ඒ සමගම පෙනෙන රන්තලිය වැව, වැව වටාවූ ගස් සමූහය සැබැවින්ම මනරම්ය. මේ සියල්ලක්ම සිප ගෙන එන සුළඟ ජනේලයේ වීදුරු තුළින් කාමරයට රිංගනුයේ මිනිස් හදවත් සනසවාලීමට මෙනි.

එහෙත් එ සිරිය බලා හිඳින සලිතාගෙ හිත තවමත් චංචලය. ඒ සල්ලාල නෙත්වලට පෙම් කරමින් තමා සිදුකෙරුවේ වැරැද්දක්ද යන්න තවමත් ඈට නොතෙරෙන්නේ ඒ තරමටම ඈ කල්ප වෙත ආලය කෙරූ නිසාවෙනි. එහෙත් දැන් දැන් ඒ ආලය පලා ගොස් වෛරය දළු දමා පැමිණෙමින් ඇත. එසේ වූයේත් ඈ ගැබිණියක් වූ බව කල්පට පැවසූවිට ඔහු ඈව මගහැරීම නිසාවෙනි.

'මොකද මේ තාම තුවාය පිටින්. අද යන්න අදහසක් නැද්ද ?'

කල්ප, සලිතා අසළට ආ සැනින් ඈ ඔහු දෙසට  හැරුණාය.

'තමුසෙ තිරිසනෙක්' ඈ කෑ ගැසුවාය.

'හ්හ. තිරිසනෙක්.!. තමුසෙට ඒවා හිතන්න තිබ්බේ මීට කලින්. එක එකාත් එක්ක හෝටල් ගානෙ ගිහින්, එනවා දැන් ඒ පව මගේ පිටින් දාන්න.'

'තමුසෙ හිතුවේ මම එක එකාත් එක්ක......' ඈ කල්පගේ ගෙල අල්ලා හිරකිරීමට උත්සාහ කෙරුවත් මොහොතකින් කල්ප ඇගේ දෑත් තම ගෙලෙන් ඉවත් කෙරුවේ ඈව ඇඳට තල්ලු කරන අතරේය.

'මාව මැරුවා කියලා තමුසෙගේ ප්‍රශ්ණෙ විසඳෙන්නේ නෑ. තව ටිකක් හිතනවා. කැමතිනම් මට කෝල් එකක් දෙනවා. හවසට යමු අර දොස්තර ළඟට'

කල්ප හිස් ආවරණයද අතැතිව දොර අසළට යමින් පැවසුවේය.

'මට බෑ. මට බෑ එහෙම පවක් කරගන්න.....'

'තීරණය තමුසෙගෙ අතේ..'

කල්ප දොර වසාගෙන කාමරයෙන් පිටවී ගියේය. සලිතා ඇඳේ වැතිරී කල්පනා කෙරුවාය. සිවිලිමේ වූ විදුලි පංකාවේ සුළං සැරට බිත්තියේ වූ දිනදර්ශණයේ පිටු සෙලෙවෙන්නේ යම් ශබ්ධයක්ද නංවමිනි. ඈ සුසුමක් පිට කරමින් දින දර්ශණය දෙස බැලුවාය.

දිනෙන් දින ගෙවෙනවා සේම අත්දැකීම්ද ජීවිතයට කෙළවරක් නැතුව එක පිට එක එනු ඇත. එය සලිතාට පමණක් උරුම නොවූවකි. නිවසට වී දිනදර්ශණය දෙස බලා හිඳින සාගරපද්ම මහතා සුසුමක් හෙළුවේය.

'මහත්තයා.. වැඩිය කල්පනා කරන්න එපා මහත්තයා.
සාගරපද්ම මහත්මිය ඔහු අසළින් වාඩිවූයේ කෝපි කෝප්පය දිගු කරමිනි.

'දරුවන්ට වැඩ ඇති මහත්තයා. නිවාඩු පාඩුවේ අපිට කතා කරයි'

සාගරපද්ම මහතා කෝප්පය අතට ගෙන කෝපි උගුරක රසවින්ඳේය.

'සති තුනක් වෙනවා. අම්ම තාත්තා උන්නද මළාද කියළවත් බලන්න වෙලාවක් නැද්ද නෝනේ මේ දරුවන්ට. ආ....'

'ඕව හිතන්න එපා මහත්තයා. අපේ වයසට ඔය දේවල් බර වැඩියි'

'නොහිතා කොහොමද නෝනේ. දරුවන්ව පරිස්සමෙන් ළොකු කරළා, හොඳ නරක උගන්වලා, හොඳ ඉස්කෝලෙකට දාලා උගන්නන්නේ මේකටද ? වයසට ගිය අම්ම තාත්තා තනිවෙන එක ගැන එයාලට හිතෙන්නේ නැතිනම් මොකද්ද නෝනේ ඒ උගත්කමෙන් ඇති වැඩේ. දරුවන්ගෙන් සල්ලි ඕනෙ නෑ. ආදරයයි ඕනේ'

සාගරපද්ම මහතා වේදනාත්මක ස්වරයෙන් පැවසුවේය.

'මහත්තයා තනි නෑ, මේ මම ඉන්නවනේ ළඟ'

ඈ ඔහුගේ උරහිසට හේත්තුවෙමින් පැවසුවාය.

'අපි පන්සල් යමු. ඇත්කඳ විහාරේ ටික වෙලාවක් ඉඳලා එමු. එතකොට මහත්තයාගේ හිතට සැනසීමක් ලැබෙයි'

සාගරපද්ම මහතා හිස වනා ඊට එකඟත්වය පලකෙරුවේය. දෙදෙනාම කෝපිබීමෙන් අනතුරුව සූදානම් වී පන්සල බලා පිටත් වූයේ සුපුරුදු තුන් රෝද රථ රියදුරාද සමගයි.
තුන් රෝද රථය බස් නැවතුම්පොලද පසු කරමින් ඉදිරියට ඇදුණි.

බස් නැවතුමේ සිටියේ නිර්නාමික සහ ඔහුගේ මවයි.

'මට හරි සතුටුයි පුතේ. මම දැනන් හිටියා මගෙ පුතා විභාගෙන් පාස්වෙලා ඇති කියාලා'

හිනාවෙන් පිරි පුතුගේ මුහුණ දුටු මවගේ දෙනෙත් කඳුලින් පිරී ගියාය. මව නිර්නාමිකගේ හිස අත ගෑවාය.

'අම්මේ, මට බයිසිකලයක් අරන් දෙනව නේද ?'

'සීට්ටුව ලබන මාසෙ තියෙන්නෙ. එතකොට බැරියැ'

මේ අතරේ පැමිණි බස් රථයට දෙදෙනාම ගොඩවුණෝය.

'අම්මේ. කොහේද අපි යන්නේ'

'ටවුන් එකට'

'ඇයි ?'

'ගියාම කියන්නම්'

'අනේ.. මට කියන්නකෝ'

'බැංකුවට'

'බැංකුවට?'

'හ්ම්. පුතාට බැංකු පොතක් හදන්න. ඉස්සරහට ඉගෙනගන්න තව වැඩිපුර සල්ලි ඕනෙනේ. මට එකපාර දෙන්න මහලොකු සල්ලි ගොඩක් නැහැනෙ පුතේ. ඒ හින්දා ටික ටික සල්ලි පොතට දාලා එකතු කරමු.'

ඈ පැවසුවාය. බස් රථය වේගයෙන් ඉදිරියට යන අතරේ ඒ පිටුපසින් යතුරුපැදියේ පැමිණෙන්නේ කල්පය. බසයේ වේගයට සමාන වේගයකින් ඔහුද යතුරු පැදිය පදවාගෙන ඉදිරියට ඇදෙන්නේය.

ඒ අතරේ කල්පගේ ජංගම දුරකථන නාදදෙන්නට විය. යතුරු පැදියේ වේගය අඩු කරමින් ඔහු ජංගම  දුරකථනයට පිළිතුරු බැන්දේය. දුරකථන ඇමතුම ලැබුණේ සලිතාගෙනි.

'ඒ කියන්නේ තමුසේ කැමති නෑ. මොකක්? පොලිසියට.. හහ්. තමුසෙගේ අවසානෙ තමයි එහෙනම්.....'

කල්ප එසේ පවසා දුරකථනය විසන්ධිකර සාක්කුවට දමා ගත්තේය. එහෙත් ඔහුගේ හිත නොසන්සුන්ය. තමන් ගමන් ගන්නේ මාර්ගයක බව ඔහුට සිතුණේ නැත. ඔහු සලිතා කෙරේ වෛරයෙන් යුතුව යන අතරේ යතුරු පැදියේ වේගයද වැඩි කරමින් බස් රථය ඉස්සර කිරීමට උත්සාහ කෙරුවේය. එහෙත් මාර්ගයේ ඉදිරියෙන් කල්ප දෙසට පැමිණියේ ලොරියකි. අධික වේගය නිසාම කල්පට  යතුරු පැදිය පාලනය කර ගත නොහැකිවිය.

'  ද........ඩා........ස්...... '







--------  නිමි  ----------




පසු සටහන :
ඉයන්ගේ අභියෝගයට "දුමී" හැදූ පොල් මැල්ලුමයි මේ. නොලියා ඉන්න හිතුවත් ලියපන් ලියපන් කියලා උනන්දු කෙරූ රෝමාට මගේ ස්තූතියි.

ආ.... ස්තූති කරලා විතරක් මදි. රෝමාගේ ( රෝමාන්තික රස්තියාදුකාරයා ) කතාව කියවන්නත් ඕනෙ ඒ දිහාට ගිහින්. ලස්සනම ලස්සන කතාවක් එතනත් ඇති කියලා හිතනවා.









Sunday, June 11, 2017

Monday, May 29, 2017

අහසින් විත් නව කැදැල්ලකට පිවිසෙනා කසුන් හා නිර්මාණී නම් වූ සොඳුරු සහෝදර දෙපළට "දුමී" ගේ සුභ පැතුම්, මෙලෙස පිළගන්වමී.....


හිනා නැහැවුණු හඬම දෙහදක උණුහුමින් නිති එක්වෙලා
ගෙනා සෙනෙහස දළු දමා යළි දිනෙන් දින ලස්සනවෙලා
මනා වට විඳි සසරෙ ජීවන සුවඳකට හද ප්‍රියවෙලා
හිනා අතරින් තවත් දෙසිතක් එකතුවන්නට පිංවෙලා

රැඳේ දස දෙස සීත මීදුම තුරු අතර හිඳ හැංගිලා
ඇදේ මල් වැහි නීල අහසින් දිවි මගට ආසිරි සලා
බැඳේ සිතුවිලි ලෙංගතුය අද ආත්මයටම පැතිරිලා
සිඳේ දුක් ගංගාව වැළලී අසිරි මල් එයි පිබිදිලා

පැතුම් දියුණුව ළඟා වේවා කසුන් නිර්මාණිය බලා
සිතුම් අදහස් නැවුම් වේවා යුවතිපති හට සෙත්වෙලා
ගෙතුම් මල් වැල් සුවඳ වේවා නව කැදැල්ලම හැඩවෙලා
උතුම් සෙනෙහස අරුත් වේවා මංගලම් සිරි ජයවෙලා........

Sunday, May 21, 2017

කැලේ කොළේ දෙලේ බලේ.......

කැලේ
කොළේ
දෙලේ
බලේ
මලේ
තොලේ
පැලේ
බොලේ........



.

Sunday, May 7, 2017

විතේ මතේ ඇතේ.........

විතේ  මතේ  ඇතේ
මතේ  ගතේ  එතේ
අතේ  සතේ  නැතේ
පුතේ  සෙතේ  නැතේ....

Monday, May 1, 2017

වරෙන් අපේ හඬ නැගුමට පෙරට වරෙන්..........






ගිනියම් කිරණ වියරුව ලේ පාට ඉරෙන්
දඟකම් දමා දෙරණම දෙදරාවි වැරෙන්
මැරකම් පිරුණු උන්ගේ උණ්ඩයක බරෙන්
මනුදම් පිරී වැළලුණු හිත් නැගිට වරෙන්

මැවෙන දහඩියේ අගයක් නැද්ද කියන්
වැටෙන කඳුළුවල ගින්දර බලා නොයන්
ගැටෙන දුගී හිත් ගැන හිතුවාද කියන්
දැවෙන ගැටළුවට පිළියම් අපිට දියන්

මැයි මහ උදා වෙන්නේදෝ උන්ට පෙමින්
මැයි සැමරුමත් සින්නයිදෝ උන්ගේ නමින්
කොයි කොයි පාට ආවද කම්කරුවො නමින්
කොයි දේ වුණාදෝ රටකට වැඩක් වෙමින්

වරෙන් මිනිසුනේ කැති පොලු අරන් වරෙන්
ඉරෙන් මව් බිමෙන් වීරිය අරන් වරෙන්
වැරෙන් මුන්ගෙ ගෙල මිරිකන්නටම වරෙන්
වරෙන් අපේ හඬ නැගුමට පෙරට වරෙන්..........

Sunday, April 23, 2017

ආල පිබිදෙන අපේ දෙසිතම එක හිතක්වන දින ළඟයි..........

ඈත අහසක විසිරි සළු තිර පැළඳ හැඩ වැඩ වූ සඳයි
සීත නැහැවෙන මීදුමෙන් නිති වෙළී දැවටෙන මදනලයි
පාත දුම්බර නිම්නයක හිඳ පිපී හිනැහුණු නුඹෙ රුවයි
දෑත සිපගෙන තුරුළුවී සිටි සිහින මතකෙට එන රැයයි

හුදෙකලා වුණු ජීවිතේ රුව වර්ණ තවරපු සඳ නුඹයි
පියවෙලා නෙතු කඳුළු මිණිකැට තාම අඳුරෙන් මග සොයයි
නැහැවිලා පෙම උණුහුමේ සුව උහුලගන්නට බැරි හැඩයි
ළංවෙලා විඳි හුරතලේ රස සොයා ඉගිලෙන මගෙ නෙතයි

කෝල සිනහව රැඳෙන දෙතොලක වර්ණයට ප්‍රිය මගෙ නෙතයි
සේල දියමත කිමිදි කිමිදී රඟනයුරු දකිනට හිතයි
නීල ජලයක දැණෙන සිසිලක ළඟ හිඳින්නට හිත දුවයි
ආල පිබිදෙන අපේ දෙසිතම එක හිතක්වන දින ළඟයි..........

Sunday, April 16, 2017

දිරි ලබාදුන් සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා.............

නුවන් සැනහෙයි නිසා කෙත්වතු නිලට හිනැහෙන කාරණා
ගුවන් තලයෙන් දෙරණ සනහා වැටෙන වැහි බිඳු සෝබනා
නොවන්නට ඔබ ගමක සිරි නැත ගැමි කඳුළු මුතු කරවනා
එවන් තෙද ඇති සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා

කිරි මවගෙ ගැබ මෝරවා නිති ලබා දෙන සත් වාසනා
සිරි රැඳුණු මල් පොකුරු අභියස බිඟුන් නද දෙන කාරණා
පිරි ජලය මත දොළක රඟ දෙන මාළු රැළ තුටු ගායනා
දිරි ලබාදුන් සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා

බුලත් හුරුළු ගෙන මලින් පුදමින සැදැහැ සිතකින් පේවෙනා
දෙ අත් සිරසට තබා බැතියෙන ඔබේ ගුණ සිහි කරමිනා
හෙටත් ලොව වෙත කාරුණිකවී වඩින්නට ආරාධනා
මහත් බල ඇති සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා.........

Friday, April 7, 2017

දිය විය සිහිය ඇය ළය කය නිදිනැතිය........


තිය  තිය  අඩිය  ගිය  ගිය  පය  බරඇතිය
දිය  විය  සිහිය  ඇය  ළය  කය  නිදිනැතිය
නිය  ඟය  ළඟය  ප්‍රිය  දිය  ණිය  ළඟනැතිය
සොය  සොය  දුකය මිය  ගිය  ඇය  එන්නැතිය.......
.

.

Sunday, April 2, 2017

සොඳුරු වසරක ගෙවා ආ මග......


වසරක් සපිරීම වෙනුවෙන් 'දුමී' ට සුභ පැතූ ඔබ සැමට ස්තූතියි.

ඉතින් ආරම්භයේ සිට මේ දක්වා 'දුමී' හා එක්ව සිටි සියළු දෙනාටත් එසේම වසරක් සපිරුණු මොහොතේ 'දුමී' ව හඳුනා ගත් ඔබ සැම දෙනාටත් 'දුමී' වසරක් පුරා ලිව්ව, ඇන්ද ලිපි අතරින් තොරාගත් කිහිපයක් නැවත වරක් මෙසේ ඉදිරිපත් කිරීමට මම සිතුවෙමි. 


1. හඳුනාගත්තොත් ඔබ මා....

2.පියා නියා......

3.දානෙ දෙන්න නැන්ද නැද්ද......

4.සුසුමකවත් නැවතුණිනම්......

5.රිද්දණු ඇයිද මේ කිරි හිත හඬයි නිතී......

6.මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්.......

7.මුදා හුස්ම පොද ඇගේ මළගම නෙතට කඳුලක් එක්කලා....

8.මරණ මගේ පදවැල් වැළපෙයි දුකසේ......

9.සීත අඳුරෙ පලයන් මා හැර දමලා.....

10.සරා සඳ මල නීල අහසක සිනාසේවි අප දෙස බලා......

 ජයවේවා!!!

Monday, March 27, 2017

"දුමී" ගේ ප්‍රථම උපන්දිනය, නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සහ උපන්දින තෑගි.....


සති ගණන් බලා සිටි ඒ දිනය අද උදා වී ඇත. එය 'දුමී' ට සුවිශේෂී දිනයකි. 'මොකද්ද මේ සති ගණන් බලාඉන්නේ ? ' ඒ බොහෝ දෙනෙක්ට ඇතිවූ ගැටළුවයි. ඉතින් තවත් ඔබ සැමව වෙහෙස නොකර ඒ කාරණාව මෙසේ ලියමි.

අද 'දුමී' ගේ පළමු උපන්දිනයයි. එය සමරණ මේ මොහොතේ 'දුමී'ට හිතැති සියළු දෙනාම සතුටින් සිහිකරමි.

රස්තියාදුකාරයාත් අහසෙන් එන කසුනුත් මේ පිළිබඳව දැන සිටි බව දන්නෙමි. ඒ අතරේ මිතිල ( වාසිතය ) ඇසුවේ තවත් ප්‍රශ්ණයකි. 'අයියගේ නෝනගේ දරුපැටියා ඉපදෙන්න තියෙන සති ගණන නේද මේ ? ( මිතිල හිතලා තියෙන දුර...... ) මිතිල මලේ උඹේ ජයග්‍රහනයටත් මගේ සුභ පැතුම්!!!

මිතිල මෙසේ ඇසුවේ 2017- 03- 25 සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති 2016 නෙලුම්යාය සම්මාන උළෙලේ තේ පැන් සංග්‍රහය අතරතුරේදීය.

විසිතුරු වූ නෙලුම්යාය සම්මාන උළෙල සංවිධානය කර තිබූ සියළු දෙනාටම මේ මොහොතේදී "දුමී"ගේ ස්තූතිය පුදකර සිටිමි. 


මෙවර නෙලුම් යාය 'දුමී' ටද විශේෂිත වේ. 'දුමී' ට වසරක් සපිරෙන මේ මොහොතේ නෙලුම් යායෙන් සම්මානයක් ලැබුණොත් ? ඔව්. 2016 නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම බ්ලොග් ලිපිය - "කාව්‍ය නිර්මාණ" අංශයේ ප්‍රථම ස්ථානය ලෙස 'දුමී' ට ලැබෙන මේ සම්මානය උපන්දින තෑග්ගක් ලෙස පිළිගැනීමට 'දුමී' කැමතිය.


නෙලුම් යායෙදී මම පළමුව මුණගැසුණේ කළණ මිත්‍රවය. " උඹ එනකම් තමයි හිටියේ " ඔහුගේ සුහද පිළිගැනීමෙන් පසු රෝමාවත් විසිරි සිහිනවත් හමුවිය.

නෙලුම් යාය අතරේ මා අසළට පැමිණි එරන්දීට පොකුරු වැහි ලෙස ඇමතීමෙන් ඈ කළබල වූවාය. නෑ නෑ මං එරන්දී. අපොයි...ඇගෙන් ටොක්කක් නොකාපු ටික විතරය. එරන්දී... සතුටුයි, ඔබව හමුවීම.

එක ළඟ දිනයන්වල බ්ලොග් ළොවට පිවිස, තමන් මුළින්ම මුහුණදෙන උළෙලකට තම නිර්මාණ නිර්දේශිතවී, එයිනුත් ප්‍රථම ස්ථානයන් ලබා ගැනීමත්, ඒ මොහොතේදී එක ළඟ ආසන දෙකකට වී ඒ සතුට විඳගැනීමට ලැබීමත් දෙදෙනෙක්ට ලැබෙන අපූරු අවස්ථාවක්. ඒ අවස්ථාව මටත් සහෝදර රස්තියාදුකාරයාටත් මෙවර නෙළුම් යායෙන් උදාවුණා. රෝමෝ... උඹටත් මගේ සුභ පැතුම්!!...

උළෙල නිමාවී මිතිලත් ඔහුගේ සීයත් මමත් බෑගයක් ගැනීමට පිටකොටුවේ කඩේකට ගොඩවූවිට එතැනින් මතුවූයේ තවත් සහෝදර බ්ලොග්කරුවෙකුවන 'වැව් ඉස්මත්ත' ය. වැව්... උඹේ ජයග්‍රහණයන්ටත් මගේ සුභ පැතුම්!!.....

කොළොම්පුර අසංග, අජිත් ධර්ම, ඉයන්, ප්‍රා ජේ, කළ්‍යාණ මිත්‍ර,.. වැඩිපුර කතාබහ කිරීමට ඉඩක් නොලැබුණත් හැමදෙනාවම හදුනාගන්න ලැබීම සතුටක්.

එසේම තරුරසී, බෝදිනී, තරිඳු, සොඳුරු සිත, විසිරි සිහින, තිලක සිත, මහේෂ්, හංසි, කඩඉමේ ධනුවා, කසුන්, නිර්මාණී , ටෙක් සයුර සහ තවත් කිහිප දෙනෙක්ම හඳුනාගන්න ලැබීමත් සතුටක්. 


ඉතින්, දුමීට මෙදාපාර ලැබුණු මේ තෑගි සියල්ලක්ම අමතක නොවණු ඇත. 'දුමී' ගේ යම් සාර්ථකත්වයක් තිබේනම් ඒ සහෝදර ඔබ සැමගේ දිරිගැන්වීම් නිසා බව සතුටින් ලියමි.

හරි... එවන් සතුටු මොහොතකදී එක් පුද්ගලයෙකු පිළිබඳව විශේෂයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඔහු නම් "රසිකයා" බ්ලොග් එක ඉදිරිපත් කරන කුරුණෑගල රසික ගුණවර්ධණයි. මම ලියා තිබූ කවි, කෙටි කථා ආදිය කියවූ ඔහු "බ්ලොග්" පිළිබඳව මාව දැණුවත් කෙරුවා පමණක් නොව "දුමී" ලෙසින් නව බ්ලොගයක් පිළියෙළ කරදීමටද නිහතමානී වුයේය. ඔහු නොමැතිනම් "දුමී" බ්ලොගයක් නැත. ඉතින් රසික මල්ලියේ, උඹට මගේ හද පිරි ස්තූතිය.  

වසරක් පුරා ආ ගමන් මගේ 'දුමී' ට පාර කියූ මේ පිරිස සිහිපත් නොකරන්නේනම් එය අඩුවක්ය.
 ඔව්. "දුමී" මේ සොයා යන අතරේ පාර කියාදුන් පිරිසත් අමතක කරන්නේ නැත. ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වුවත් එය "දුමී" ට වටිනා බව කිව යුතුමය.

ඔවුන් අතර,

අහසෙන් එන්න (කසුන්), අට්ම්පහුර, අජිත් ධර්ම, අරුණ පෙරේරා, අසංක ආසිරි
ඉන්ද්‍රජිත්, ඉවාන් පවුලූෂා, ඉයන්, ඉෂානි ප්‍රදීපිකා,ඉසුරු සංකල්ප,
උපේකෂා නුවන්ශ්‍රීණි, උදුවා,
කුරුටු ගෑ ගී පවුර, කටුසු හදවත, කළ්‍යාණ මිත්‍ර, කඩඉමේ ධනුවා, කොච්චි මිරිස්, කටකාරී, කොළොම්පුරේ, කළුලෑල්ල්,
චෙෆාකී.,
ජීවිතේ යාත්‍රාව,
නිම්නයක තනිවී හීන දකින්නී, නිර්මාණී, නෙරංජන් ජයකොඩි, නිලූක කදුරුගමුව,
තරිඳු ලක්ෂාන්,
දේෂකයා, දිනේශ්, දුකා, දුශාන් ජයරත්න, දිල්ෂාන්,
පොකුරු වැහි, ප්‍රභාත් චින්තක, ප්‍රාජේ, පැණිකු, ප්‍රියන්ති හංසමාලි,
බුද්ධිකා එරන්දි, බොස්,
මාතලන්, මනෝ මන්දිර, මහේෂ් රත්නායක, මිතිල, මිත්‍ර වර්ණ, මගේ පිලොසොෆිය, මෙඩුසා,
රෝමාන්තික රස්තියාදුකාරයා, රතීගේ දිනපොත, රන්වන් මකරා, රසිකොලොජිස්ට්, රන්සිරිමල්, රවී,රයිටර්,
ලේ පාට හීන, ලලිත් පෙරේරා,
විභීෂණ, වැව් ඉස්මත්ත, විසිරි සිහින,
සංකල්ප, සොමියා, සීමා මායිම් ඉක්මවා, සාරස, සරදියෙල්, සුමුදු චාමිකර, සමරසේකර, සොඳුරු සිත, සොඳුරු සඳවතී, සාලිත රාජමුණි,
හංසි.     

ඔබ හැමදෙනාටම "දුමී" ගේ ආචාරය සහ ස්තූතිය මේ මොහොතේ පුදකර සිටිමි.

එසේම "දුමී" ට අත දුන් සින්ඩි සියල්ලටත් මගේ ස්තූතිය පුදකර සිටිමි.

පා පොඩි තබා ඇවිදින්නට වෙර දරමී
පා වඩ රතුද මල් ගල් හැම ඉවස ගමී
පා වෙන සිහින සිතුවිලි හැම සොරා ගමී
පා න  සුහදතාවෙට හරි ප්‍රියයි දුමී

නිමී තියෙන පහනට ආළෝක දෙමින්ද
සොමී දිළෙන රෑ අහසට සිසිල වෙමින්ද
නැමී ලියන පන්හිඳකට වචන දෙමින්ද
දුමී බ්ලොගය ගළපන මේ මමයි දුමින්ද

හෙමින් හෙමින් මතක සිහින සිහි කරමී
පෙමින් බැඳුණු නව වසරෙත් තව ලියමී
නමින් නොකී හැම දෙනාම සිහි කරමී
දුමින් දබේසේකර මම තුති පුදමී............

ජයවේවා!!!

Monday, March 20, 2017

හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ඳ සෙනෙහස මට මදී..........


සහස් ගව් දුර ගෙවා දිවි මග නෙතට හසුවුණු ගැටිස්සී
අහස් කුස මැද උදුල සඳවත රුවට සම වන ළමිස්සී
දහස් නෙතුයුග නොවේ අප දෙස ඇයිද සොඳුරිය තිගැස්සී
රහස් මුමුණන විහඟ නිහඬය කිමද යන්නට හදිස්සී

සසල සුළඟක් සිතිජ ඉම හිඳ කොමල සිනහව රඳවතී
නිසල තුරු මත ලතාවෝ නිති වෙළී සිසිලෙන් සැනසෙතී
අසළ තුරුළුව දැණෙන උණුහුම විඳින්නට බොහො සිත් ඇතී
සසල වෙයි හිත දුරස්වන සඳ හිඳින් මොහොතක් සඳවතී

බොඳ වෙලා පිපි ධවල මීදුම කඳු සිරස සනහා ඇදී
හද කළම්බන සිසිල පතුරා වැළඳ සැනහෙයි නිල් නදී
සඳ වඩින තුරු නිලම්බර මත සතුට පරවෙන්නට නොදී
හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ඳ සෙනෙහස මට මදී..........




(1)

Sunday, March 12, 2017

සිනහ පොහොට්ටුව මිලින වුණී........


කදුළු බිංදු පිපි
පුංචි දෙනෙත්වල
සුපිපුණු සෙනෙහස මට දැණුනා
රැයෙහි බොඳව ගිය
මතක සිහිනයන්
අතරින් ඔබ ඒදැයි සිතුණා

පිපුණු පැතුම් මල
පපුවෙ තුරුළුකර
බලාපොරොත්තුව රාව දිදී
මසිත හැඩුව දින
ඔබගෙ මුවග තුළ
සිනහ පොහොට්ටුව මිලින වුණී

ගලන ගඟක් මත
සුවඳ මලක් ලෙස
සිතිජ දනව්වට දෑස සලා
මිහිදුම් සළුවක
දැවටෙන ඔය රුව
බලා හිඳිමි මම දෙනෙත පුරා....... 






(2)

Sunday, February 26, 2017

නගේ තිගේ ඉඟේ රඟේ මගේ ඇඟේ නැගේ දඟේ.......

නගේ     
තිගේ      
ඉඟේ     
රඟේ     
මගේ     
ඇඟේ   
නැගේ   
දඟේ.......





(4)

Sunday, February 19, 2017

නරුම උන්ව මැරුවත් සැනසුමක් නැතී......

අව්ව වැස්ස වෙනසක් විඳගන්න නැතී
සෙව්ව සොච්චමෙන් වේලක් පිරෙණු ඇතී
ගව්ව ගව්ව දුක් මල් වැල් පිරී ඇතී
දිව්ව රටේ අප තාමත් පයින් යතී

ඇතිදා විරිය ගෙන මැරි මැරි වැඩ කරතී
මස්දා පිරුණු සිරුරම දැන් ගෙවී ඇතී
සිඳදා සිහින පැතුමන් බොඳ වෙලා ඇතී
කවදාකවත් හිරු පායා එන්නෙ නැතී

දුහුවිලි සුවඳ මල් සුවඳක් සේ දැනෙතී
ගෙරවිලි රැවුම් නිතරම අප දෙස ඇදෙතී
රැවටිලිවලින් තොර එතුමන් දැක නොමැතී
සැරසිලි කරන්නට මින් මතු අපිත් නැතී

කරුම අපිද අපි මිනිසුන් නොවණු ඇතී
උරුම නොමැති සිහිනය එළිවෙන්නෙ නැතී
හොරුම ඇවිත් ඡන්දෙට බොරු හිත් පුදතී
නරුම උන්ව මැරුවත් සැනසුමක් නැතී......


'ඇපල් වත්ත'
2017- 02- 26



(5)

Sunday, February 12, 2017

සලා පියපත් සොයා සෙනෙහස තුරුල්වුණු දින සතුට බෝමා.........

සරා සඳ මල නීල අහසක සිනාසේවි අප දෙස බලා
පෙරා සිසිලස හොවා කිරණක හැඟුම් පුබුදණු තුටුවෙලා
නුරා දෙනෙතක රැඳුණු මොහොතක ඔයා ළඟ මා මත්වෙලා
පුරා සසරක ළඟම ඉන්නට දෙසිත් එකවර පිංකළා

තාල තිය තිය පාන හුරතල දෙනෙත දසුනට ප්‍රියකළා
ආල උපදින නාද රැව්දෙන සවන මධු මී ඉහිරිලා
මාල ගෙලවට දාන පෙම්බර සිහින එකිනෙක හැඩවෙලා
දාල යනුබැහැ තාම තනිකඩ දෙසිත සෙනෙහෙන් නැහැවිලා

සලා පියපත් සොයා සෙනෙහස තුරුල්වුණු දින සතුට බෝමා
නෙලා රැකගත් නියා සිහිනය හැඟුම්බර බව කියණු කෝමා
වලාකුළකත් තියා සිසිලස නවම් මහ හැඩ දමන සේමා
බලා ඔය නෙත් ගියා ළතැවුල සුපෙම්බර සිත් රඟයි බෝමා....... 






(6)

Sunday, February 5, 2017

සතුටු වෙන්න පවුල් පිටින් නැවත දිනෙක ඇවිත් යන්න අපගෙ දෙනෙත් බලන් ඉන්නවා..........

රැල්ලෙ වැදෙන වැල්ලෙ හැපෙන මුහුදු හුළඟෙ ඔමරි බැල්ම
බලන් යන්න ඔබත් එන්නකෝ
ගතට සිතට සුවය සතුට නෙතට දැනෙන සිසිල් මිහිර
නොවිඳ ඔබත් යන්නෙ කොහොමදෝ
වැල්ලෙ පැදුර දිගට දමලා ළඟින් ළඟින් එකට ඉඳන්
කියන සින්දු අහන් ඉන්නකෝ
අතින් පයින් අඟර දමලා නටන පුංචි එවුන් දැකලා
සල්ලි නොදුන් අයත් ඉන්නෙදෝ

සිසිල් සුළං දැවටි දැවටි අඳුර සිසිල් කරන විටදි
සිරුරෙ ඔබගෙ නැතිද හිරිගඩූ
කොටන් ටිකක් කිට්ටු කරලා හොඳින් පත්තු කරපු විටදි
සිසිල දුවයි වෙමින් බියගුළු
ලුණත් එක්ක පදම් කරලා මිරිස් කුඩුත් ටිකක් දමපු
ඉරිඟු කරල් නටයි පුච්චපූ
රස්නෙ පිටින් දෙකක් තිහයි ඇවිත් ගන්න මුදල පොඩියි
නමුත් අපිට වගෙයි කහවනූ

ඔබගෙ හිතට දුකක් දුන්නු වැරදි දෙයක් අපෙන් වුණොත්
සිරස නමල වැඳලා කියනවා
නගරෙ ඉඳන් මෙහෙට ඇවිත් අපට මුදල් උපයා දුන්නු
ඔබට තුතිය මෙලෙස පුදනවා
යනෙන තැනක බලය තිබෙන ත්‍රිවිධ රත්නෙ පිහිට ඔබට
සැකක් නැතුව නිතර ලැබෙනවා
සතුටු වෙන්න පවුල් පිටින් නැවත දිනෙක ඇවිත් යන්න
අපගෙ දෙනෙත් බලන් ඉන්නවා..........





( තව 7 යි....)

Sunday, January 29, 2017

ගරු දැරු ගුරු වරු තරු දරු විරු කෙරු............


ගරු  
දැරු  
ගුරු  
වරු  
තරු   
දරු   
විරු   
කෙරු...


( තව 8 යි )

Sunday, January 22, 2017

මුදා හුස්මපොද ඇගේ මළගම නෙතට කඳුලක් එක්කලා............






'මගේ පිලොසොෆිය ' බ්ලොග් එකේ 2017- 1- 27 දින පළවුණා පොළොන්නරුවේ මැණිකෙ නැන්දා ගැන අපූරු සටහනක්. සංවේදී සටහනක් වූ එය කයවද්දී මට හිතුණේ ඒක කවියකටත් අපූරුයි කියළා. ඉතින් ෆිලෝගේ අවසරයත් එක්කම ඒ සටහන මට දැණුනු විදිහට කවියකින් මෙහෙම ඉදිරිපත් කරනවා.  

' මගේ පිලොසොෆිය '




ඈත දුරු රට හුදෙකලාවක දිවිය නිහඬව ගෙවෙද්දී
මෑත හිරු රැස නැගුණු මාවත කවුළු අතරින් පෙනෙද්දී
දෑත එක්කර අසිරි ලැබදුන් ඇයව සිහියට නැගෙද්දී
සීත පරදන කඳුළු මතුවෙයි එදා දින සිහි කරද්දී

සිඳී ගිය ඇළ වේලි එකතුව නියං සිතුවම හැඩට ඇන්දා
බැඳී හැම තැන දූලි සුවඳම කටුක බව තව හොඳට වින්දා
රැඳී අප සිටි ගමේ ගෙදරක මවක සෙනෙහස ලැබුණු හින්දා
රිදී පොකුණක අපට හමුවුණු තවම මතකයි මැණිකෙ නැන්දා

දිනක සැමියත් ඇයව තනිකොට ගියේ යන්නට හා මරූ
හිතක දුක්මුසු වුවද ඇගෙරුව දකින්නට හරි පියකරූ
දුරක වැඩපල කරන තිදෙනෙකි උස් මහත් වූ ඇගෙ දරූ
නෙතක කදුලක් ගලනවාමයි මතක්වනවිට නිරතුරූ

වරෙක ලැවරිය හදා අපහට දුන්නෙ ඈ හරි සන්තොසින්
රසක මහිමය කියනු කොහොමද අපි එදා හිටියේ තුටින්
ගමක පිරිසට අපව පෙන්වා හිටියෙ ඇය ආඩම්බරින්
මවක නැති මට මවක් වී සිටි තෙදින අමතක නෑ ඉතින්

එදා වැඩපල නිමා කර යළි ආවෙ අපි ගම්බිම් බලා
බදා අප තිදෙනාව නළලත හාදුවෙන් සංග්‍රහ කලා
සදා මුවගෙන් සිනහ රඳවා කඳුල ඈ යටපත් කලා
මුදා හුස්මපොද ඇගේ මළගම නෙතට කඳුලක් එක්කලා

උන්න දින අප මැණිකෙ නැන්දේ ඔබේ ගුණ මතකෙට ගමී
එන්න බැරි වී ගියද සිත තුළ කහට නැති බව දන්නෙමී
දන්න නෑකම් වලට ඉහළින් නුඹගෙ නෑකම රඳවමී
යන්න ගිය එක දුකයි මා හට නිවන් සුව මම පතනෙමී........  






( තව 9 යි ) 

Sunday, January 8, 2017

උමා ඔය ගලනවා...............




උමා ඔය ගලනවා
අපේ ජීවිතය ගිලෙනවා
හිතේ ගිණි නිව නිවා
අපි දුටුවා අපේ සිහිනයෙත්
ජයක් දෙන බව උමා

රළු පොළොව හා ගැටී
අස්වැන්න හොදටම වටී
නැගිට යළි වැටි වැටී
අපි හිටියා අපේ දහිරියෙන්
කා ළඟත් නොවැටී

දුක් ගැහැට නැත නිමා
අනාගතයම ගිල දමා
කඳුළු පිස දම දමා
අපි හිතුවා අපේ ජීවිතෙත්
බේරා දේදෝ උමා...........


 ( තව සති එකොළහයි....... )

Sunday, January 1, 2017

පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී.......



පාපොඩි තබා ඇවිදින්නට වෙර දරමී
පාවඩ රතුද මල් ගල් හැම ඉවස ගමී
පාවෙන සිහින සිතුවිලි හැම සොරා ගමී
පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී....... 

නිමී තියෙන පහනෙහි ආළෝකෙ කොයින්ද
සොමී දිළෙන රෑ අහසක අඳුර කොයින්ද
නැමී ලියන පන්හිඳකට වචන කොයින්ද
දුමී බ්ලොගය ගලපන මේ මමයි දුමින්ද.......

හෙමින් හෙමින් මතක සිහින සිහි කරමී
පෙමින් බැඳුණු නව වසරෙත් තව ලියමී
නමින් නොකී හැම දෙනාම සිහි කරමී
දුමින් දබේසේකර මම තුති පුදමී.......



 ( තව සති දොළහයි ?....)