Sunday, December 31, 2017

ළොකු අක්කගෙ ලොකු පුතයි ... පොඩි අක්කගෙ පොඩි දුවයි



ළොකු අක්කගෙ ලොකු පුතයි
පොඩි අක්කගෙ පොඩි දුවයි
උඳුවප් මහ නිවාඩුවයි
සමරන්නට ආ වගයි


ආ හැටියෙම මෙහි උදේ
මගෙ ළඟටම නිති ඇදේ
දඟ මල්ලන්ගෙන් වදේ
ළොකු මාමට හිසරදේ


වෙලට යන්න ඕනෙලූ
ඇළ බලන්න ආසලූ
බඩගින්නත් නෑමලූ
අපොයි එහෙම කිව්වලූ


නියර දිගේ දුව පැන
ගල් තලාවෙ හිඳගෙන
පින්තූරෙට ගැළපෙන
ලස්සනකට හිනැහෙන


ෆෝන් එකත් අරගෙන
ගත්තෙ ෆොටෝ ඉක්මන
සිහිවටනය අද දින
නෙතට කඳුළු ගෙන දෙන......

Saturday, December 16, 2017

මතු සසරෙ පිං පුරමු යළියළිත් ළංවෙන්න.....



පාටින්ම හැඩවැටුණු සියුමැලිය විඳි ගතට
දෑසින්ම පෙම්කළේ හදවතේ ගැඹුරකට
දෝතින්ම තුරුළුකර ගන්න සිතුනද හදට
ඈතින්ම තනිවෙන්න සිදුවුණේ අපෙ පවට


හීන එකිනෙක එතී වැටෙයි මල් පෙති මතම
ගේන දුක ඉතිරිලා ඉකිබිඳියි හිත තවම
පාන සිනහව නිසා නින්ද නැත පුන්සඳම
හීන අපෙ එළිවෙන්න දුර මදිද දින තවම


සිතු ලෙසම ළං ළංව ඔය සෙනේ විඳගන්න
පැතු පෙමක උණුහුමට හදවතින් දැවටෙන්න
මුතු කඳුළු මල් මාල එපා තව සරසන්න
මතු සසරෙ පිං පුරමු යළියළිත් ළංවෙන්න.....





(සොඳුරු සඳවතියගේ "මලක මළගම" ට ලියැවුණු ප්‍රතිචාරයයි මේ.

Thursday, December 14, 2017

මෙන්න තවත් අලුත් බ්ලොග් එකක්.


http://sudusamanali.blogspot.com/


මෙන්න තවත් අලුත් බ්ලොග් එකක්. වෙලාවක ගිහින් බලන්න.

Wednesday, December 6, 2017

ඈට සින්නයි මගේ සෙනෙහස කවිකමත් දැන් නැවතිලා.....

සිසිල් පිණි පොද තුරුවියන මත මුමුණමින් එක් රොක් වෙලා
ඇසිල් ලක අවසරය ලැබගෙන පරිසරය සිසිලස් වෙලා
දුහුල් වතකට වාවගන්නට නොහැක සිසිලස තනිවෙලා
සුනිල් නෙතු යුග බැල්ම අභියස හදමඩල උණුහුම් වෙලා


සීත උඳුවප් දිනෙක පෙරඹර සඳමඩල කෝමල වෙලා
ඈත සිට සුභ පැතුම සුළඟක දවටවයි හිනැහී බලා
ගීත යක් සේ නැගෙන සෙනෙහස දෙසිත මත්තෙම හිර වෙලා
දූත කම් තව අවැසි නෑ අද දෙසිත එක තැන නැවතිලා


පාට පාටට සුපිපි මල්පෙති ජීවිතේ ළඟ නැවතිලා
රෑට කොඳුරා රහස් නොතබනු මගෙ ළඟයි ඈ හිනැහිලා
කාට නැතිමුත් සතුට ඉහිරී මගෙ හදම අද තුටුවෙලා
ඈට සින්නයි මගේ සෙනෙහස කවිකමත් දැන් නැවතිලා.....

Friday, November 10, 2017

මගේ තුරුළෙ හීන තියා......


පළමු බැල්ම හදේ තියා
ඈත දිනෙක ආවෙ ඔයා
මතක අරන් යන්න ගියා
මගේ තුරුළෙ හීන තියා




මටම ආදරේද කියා
සුවඳ හාදු මතක තියා
ඒ සුවඳත් අරන් ගියා
මගේ තුරුළෙ හීන තියා




හීනවලට පාර කියා
හීන පාට කරපු ඔයා
හීනෙ නොපෙනි යන්න ගියා

මගේ තුරුළෙ හීන තියා......